Monday, October 19, 2015

ක්ලබ් කතාවක්... - A Club Story !!!


අද කාලේ ක්ලබ් එකක් කිව්වාම මතක් වෙන්නේ හොඳට බොන ඒවාය. නටන ඒවාය. ආතල් ගන්නා ඒවාය. කොටින්ම කිව්වොත් නයිට් ක්ලබ්ය. වැඩි මුදලට බියර් බොන්න ඒවාය. වැඩි මුදලට අඩියක් ගසන ඒවාය. සැපක් ගන්නට ගොස් වැඩි මුදලකට කෙලවා ගන්නා ඒවාය. ඩාන්ස් කරන්නට ගොස් පදම වැඩි වී කකුල් හතරෙන් එන ඒවාය. මොක කිව්වත් අතේ සල්ලි වැඩි නම් ජනතාවට ආතල් ඒවාය.

ඒ කෙසේ වෙතත් ඉස්සර නම් ක්ලබ් කිව්වොත් ඇත්තටම සැපය. මුලින්ම සිහිවන්නේ ස්පෝරට් ක්ලබ්ය. බැට්, බෝල අනිවාර්යෙන් තිබෙන එවන් ක්ලබ් එකල්හි තරුණ ජනතාවගේ සෙට් වෙන තැනය. කැරම් බෝඩ් ද අනිවාර්යය අංගයක්ය. ක්‍රිකට් ගසන්නට සැට් වී හදිසි වැස්සක් වැටුනොත් ඉන්ඩෝ(ර්) හෙවත් ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙස කළේ කැරම් ගසන එකය. එතැනින්න එහාට කාඩ් පැක් එකද එවන් ස්පෝර්ට් ක්ලබ් වල නැතිවා නොවේය. ජාත්‍යන්තර ක්‍රීඩාව ඕමිය. ඕමි බැරි උන් දිග ඇර ගන්නේ කැරම් බෝඩ් එකය. ෂොට් නොදන්නවා වුවද ඩිස්ක් එකෙන් ගසා අනුන්ගේ ඉත්තෙක් හෝ වලට දැමීමට හැකි උන් සිටීම කැරම් බෝඩ් එකෙහි ජීව ගුණය රඳවා ගැනීමට හැකි වූ එක් කරුණක්ය. උක්ත ක්‍රීඩා සියල්ල හැරුණු කොට ඉදහිට හෝ අඩියක් පුඩියක් ගැසීමද ක්‍රීඩා සමාජයේ, ස්පෝ(ර්)ට් ක්ලබ් එකේ අනිවාර්යය අංගයක්ය.

http://pachagune.blogspot.com/2011/06/blog-post_29.html

සෑමාගේ ගමේ පැරණිම ස්පෝර්ට් ක්ලබ් එක ගාමිණී ක්‍රීඩා සමාජය විය යුතුය. පරම්පරා ගණනක් අතින් අත මාරු වූ එම ක්‍රීඩා සමාජය තවමත් තිබෙනා බව සිහිවන්නේ වෙසක් කාලයටය. ඒ ඔවුන් සැට් වී දෙන දන්සැල නිසාය. ගාමිණී ක්‍රීඩා සමාජයට නම ලැබුණු හැටි සෑමා නොදන්නේය. එහෙත් ක්‍රීඩා සමාජය එකල්හි බොහෝ දුරට සක්‍රියව තිබූ බව සෑමා දන්නේය. ඊට හේතුව සෑමාගේ පියා හෙවත් කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා එහි විවිධ තරඟවලට සහභාගිවී ලද කුසලාන තවමත් නිවසේ ඇති නිසාය. එදා ක්‍රීඩා සමාජවල ක්‍රිකට් වලට වඩා තැනක් තිබුනේ එල්ලේ වලට බව සහතිකය. එසේම දුවන, පනින, පිහිනන තරඟ පවා සරුවට තිබී ඇත්තේය. කෑලි පස්සේ පන්නන උන්, සරුංගල් පස්සේ දුව උන් නිසා මැරතන් වලට නිසි පුහුණුවක් ලැබී ඇත්තේය. වැටවල්, කඩුලු, හොර පොල් කැඩිලි, කොටු පැනිලි වගේ ඒවා සරුවට තිබී ඇති නිසා පනින උන්ද, කෑලි නානවා බලන්න යන උන් ඇලේ, දොලේ, ගඟේ කෙල්ලන්ට පේන්න වැඩ දාන නිසා පිහිනීමද ප්‍රගුණ කර ඇත්තා සේය.

තත්වය එසේය. සෑමාට මෑත අතීතයේ මතක මහප්පලෑ නිවසේ තිබූ ක්ලබ් එකය. තිබුණේ ක්‍රීඩා දෙකක්ය. එකක් කැරම්ය. අනෙක ඕමිය. බෝඩ් එක ලැබී තිබුණේ සෑමාගේ අයියා ක්‍රීඩා සමාජයකට එකතු කළ බඩු නිසාය. ඊටත් කලින් පරම්පරාගත කැරම් බෝඩ් එකක් තිබුණේය. චැම්පියන් එකක් නෙවේය. ඒත් පරම්පරා ගාණක් ගැසූ පාරවල් නිසා බෝඩ් එක පට්ට පොලිෂ්ය. වල ලගින් තිබූ සැනින් ඇතුලට යන්නේ සුරුස් ගාලාය. වල වටේ පිත්තල ෆ්‍රේම් එකක්ය. වලවල් නම් ඉරී තිබුණ නිසා පරණ මේස් කුට්ටම් අල්ලා තිබුණේය. කැරම් ගසන්නට හතරක් ඉඳගෙන සිටියදී ඕමි ගසන්නටද හතරක් සිටින්නෝය. ඒ තරමට ක්ලබ් එක නැගලා ගියේය. තේ වතුර, බිස්කට්, අරවා මේවා සියල්ල ලොකු අම්මා ගෙන්ය. ක්‍රීඩා කරන අට දෙනා හැරෙන්නට තවත් සැට් එකක් පරාද වෙන උන් නැගිටන තුරු වටේට වී සිටින්නෝය. ඒ තරමට ජනතාවක් ක්ලබ් එකේ සිටියෝය. පට්ට ආතල්ය. මැච් එකක් තිබුණත් බලන්නට සැට් වෙන්නේ එහේය. සරලව කියන්නට ඇත්තේ අන්න ආතල් කියා පමණක්ය. ඒ ආතල් දැන් නැති පොඩි උන් පව්ය. ඒ ආතල් ආයෙත් නොඑන අපි ඊටත් වඩා පව්ය.

සෑමාට ක්ලබ් ගැන මතක් වූයේ සමීපතම මිතුරෙක් නිසාය. උන්ට නම් ආතල්ය. ඒ උන්ට තාමත් ක්ලබ් එකක් තියෙන නිසාය. හවසට, සති අන්තයට කස්ටිය සැට් වී කැරමක් ඕමියක් ගසන නිසාය. ක්‍රිකට් ගසන නිසාය. දිනක් මිතුරාගේ නිවසට යන අතරමග කොල්ලෝ සැට් එකක්ය. ඉඩමක් මැද, පාළු තනි ගෙයක්ය. ඒ වටේ කොල්ලෝ සැට් එකක්ය. මා සිටියේ උගෙ වාහනයේය. මග නවතා උන්ට සැලයුට් දමා හවස එන්නම් කියාගෙන ගිය අපේ එකා හඬ අවදි කළේය. “ඒ අපේ ක්ලබ් එක බං“ එතැන් සිට ක්ලබ් කතාය. ආතල් ඒවාය. ආතල්ම එක කීවේ එදා නොවේය. පසු දවසකය. මෙතැන් සිට සෑමාගේ මිත්‍රයා සුජීය. මෑතක සිට උගෙ කාඩ් එක සුජී වූයේද අර “සුජී“ ෆෝන් කෝල් එක නිසාමය.

සුජියා දිනක් ක්ලබ් එකේ තවත් එකෙක් සමඟ අඩියක් ගසන්නට ගොස් ඇත්තේය. පොඩි අඩි නොතබන සුජියා සුපුරුදු පරිදි තඩි අඩියක් ගසා අඩි පොලේ ගසමින් පැමිණ ඇත්තේය. සුජියා පොඩියට අඩියක් ගසන්නට සෑමා සමඟ තවත් 4 දෙනෙක් සමඟ ගිය විදිහ සෑමාට තවමත් මතකය. එදාද බියර් පොඩි අඩි ගසා බිල ආවේ මහ ගාණක්ය. අහවල් දෙක උකස් නොකොට බේරිලා ආවේ එතැන සිටි නොබොන එකාද සම්මාදම් කරගෙනය. කෙසේ හෝ සුජියා මිත්‍රයා සමඟ ගෙදර එමින් සිටියදී සුපුරුදු පරිදි ක්ලබ් එකේ සෙනඟය. ජනතාවට ආචාර දක්වා සුජියා ක්ලබ් එකේ ජනතාවගෙන් ඇසුවේ “මොකෝ වෙන්නේ“ කියාය. උන් නොකියා කීවේ බූරු ගසනවා කියාය. සුපුරුදු පරිදි සුජියා “හරි මචං එන්නම්“ කියාගෙන පිටත් වී ඇත්තේ මිතුරාද සමඟය.

සුජීගේ නිවස වටේම පාරය. එක පැත්තකින් ඇතුල්ව අනිත් පැත්තෙන් යා හැකිය. තරමක වටයක් ගැසිය යුතු වුවත් වාහනය හරවන්නේ නැතිව වටෙන් යන්නට ලැබීම සහනයක්ය. සුජියා තම මිතුරා සමඟ ක්ලබ් එකේ උන්ට දොස් කියන්නට වූයේය. 

“බලපං මෙහෙම චාටර් වෙනවද බං, ගමේ උන් දැන ගත්තොත් ක්ලබ් එක වහන්න වෙන්න.“

“සිරාවට, මුන්ට තේරෙන් නැද්ද, ඕව අපිට ගැලපෙන වැඩ නෙවේ යකෝ“ සුජීගේ මිතුරාද පොහොර දමන්නට විය.

“කාඩ් පැක් එකක් තියන් ඕමි ගැහුවට කමක් නෑ බං. සල්ලිවලට බූරු ගහන එක ..? අපි ගමේ පිළිවෙලකට ඉන්න කොල්ලෝ. ක්ලබ් එකේ උන් කියලත් එහෙමට චාටර් උන් නැහැනේ බං. ඕවට ගියාම අපිටත් කෙලවෙනවා.

“ඒක ඇත්ත බං. මාව ඔතනින් දාපං. මම ගෙදරට පයින් යන්නම්.“

“එල කිරි.. මාත් මෙහෙම්ම ගිහින් නිදා ගන්නවා බං..“

එදිනම නැවත යලි හමු නොවනට වෙන්වූ දෙදෙනා සමුගත්තෝය. මිතුරා මඟ අතැරියා සුජියාට නිවසට යනවාට වඩා ක්ලබ් එක පැත්තට යන්නට සිතුනේ බූරුවා ගසා කීයක් හෝ එකතු කර ගැනීමටය. මිතුරා මගින් බැස්ස නිසා නැවත ඒ පාරේම යෑම ඉල්ලං කෑමක් නිසා සුජියා කළේ වට රවුමෙන් නැවත ක්ලබ් එකට සැපත් වීමය. ක්ලබ් එකේ ෆුල් හැපනින්ය. සැට් එකම වටවී බූරු ගසන්නෝය. අඩියක් පුඩියක් ගසා සිටි සුජියාට ක්ලබ් එකේ උන් පට්ට වෙල් කම් චියර් එකක් දුන්නෝය. එහෙත් ඒ අස්සේ සිටි එකෙක් සද්ද නැතිව බිම බලා සිටියේය. සුජියාටද ඔහු දෙස බැලුවේය. ඔහුද හිස ඔසවා සුජියා දෙස බැලුවේය. දෙදෙනාගේ ඇස් යා වී විනාඩි කිහිපයකට පෙර දෙබස් යලි සිහි වූයේය.

තමා මඟ හලා ගිය සූදුවට අකැමැති මිත්‍රයා තමාටත් පෙර ක්ලබ් එකට ඇවිත්ය.

ගෙදර ගොස් නිදා ගන්නවා යැයි කියූ සුජියා මිත්‍රයාට පසුව ක්ලබ් එකට ඇවිත්ය.

සුජියා රැගෙන ආවාට වඩා මුදලක් කුදලාගෙන ගියේත්, සුජියාගේ මිතුරා තුන් හතර ගුණයක මුදලක් කුදලාගෙන ගියේත් ඔවුන් සූදුව කෙරෙහි ඇති අපරිමාණ අකැමැත්ත නිසා සහ ඒ කෙරෙහි ඇති නොදැනුවත් කම නිසා බව කිව යුතුමය.

Written_by_sAm_ශ්‍රී_Perera_11:35pm_19/10/15

25 comments:

  1. අපේ ක්ලබ් එකේ කැරම් ඩිස්ක් එක දකුණු අත පැත්තට පාස් වෙද්දී සිගරැට් භාගේ පාස් උනේ වම් අත පැත්තට. දවසින් දවස ගොඩගැහෙන හිස් බෝතල් ගොඩ කියා පෑවෙ සාමාජිකයින්ගේ සිල්වත් භාවය. එහෙමත් කාලකන්නි කාලයක්..

    ReplyDelete
    Replies
    1. කාලකන්නි කාලයක් නෙවේ. ආයෙත් නොඑනෙ ආතල් කාලයක් බොලව්

      Delete
  2. ක්ලබ් නං ඉතිං නමට ක්ලබ් නෙ බොලං.. සිරාවටම ඕවයි ඇක්ටිව් කාලෙ තියෙන්නෙ මාස දෙකයි තුනයි අප්‍රේල් මැයි උපරිම ජූනි ආයෙ ඊලග අවුරුද්දෙ.. හැක් හුගක් ක්ලබ් වලිං ඉස්සිස්සල්ලාම කරන්නෙ කොහෙ හරි හදල තියෙන බස්සෝල්ට් එකක් හුණු උලල ජනතාව අතට පත් කිරීම වගේ කුරුතහස්ත කර්තව්වයක්.. හැක්...
    අර ඩයල් දෙක නං සුපිරි ඈ හිහි

    ReplyDelete
    Replies
    1. සිරාවට... ඒ අතින් ගමේ ගාමිණී ක්‍රීඩා සමාජෙ ගැන මට පුදුමයි මහේෂ්..

      උන් දෙන්නගෙන් අපි දන්නෙ අපේ සුජියා විතරයි.. ඌ නම් සුප්පා..
      සූදුවෙන් තොරයි.. සුරාවට බරයි..

      Delete
  3. එල ද බ්‍රා යාලුවෝ ඩබල
    අපිත් ඉස්සර ක්ලබ් (ඡිම්) එකට යනවා සෙල්ලන් කරන්න
    බුරැ ගහනවා ඔමි කැරම් අන්තිමට සම්මාදමක් දාලා බෝතලකුත් ගහලා එන්නෙ..ඒ සෙල්ලං කරපු විදිහට අපි බොඩි බිල්ඩරස්ලා වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හම්බේ උබ බොඩිය තමා බං බොඩිය...

      ජිම් ගිහිල්ලමයි ගොඩ දා ගන්න ඇත්තේ ;)

      Delete
  4. අපි ක්ලබ් යන්නේ නැනේ...... කවදා හරි පාර්ලිමේන්තු යන්නනේ ඉන්නේ....

    ReplyDelete
  5. අපිටත් ඔය ක්ලබ් නෑනෙ.
    අර බූරුවො දෙන්නනං නියමයි. එකාට එකා හොරෙන් රිංගල තියෙන්නෙ පොට් එකට.
    දැං එතකොට සෑම එතනට රිංගුවෙ කාට හොරා ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසා දැන් ඉතින් මරණාධාර ක්ලබ් එකක් හරි හදා ගං..
      සුජියාම මට කතාව කියලා, ඌම කෙලෝ ගත්තා බං.. :ඩී

      නම, ගම නොදා ලියපං කියපු එකට මම ගරු කළා..

      Delete
  6. ක්ලබ් කෙසේ වෙතත් සෑමාට බ්ලෝග මතක් වීම නම් සතුටට කරුණකි. බ්ලොග් වල ජීව ගුණය රඳවා ගැනීමටනම් සැමා වාගේ උන් අවශ්‍යය . ඒ නිසා ආපහු ලියන්නට පටන් ගැනීම ගැන සැමා ගේ බබාට ස්තුතිය , සැමාගේ බබාට කියන්නේ මුගේ වෙන කිසිත් නරකක් නැති නිසාත් පෙර වැරදි (මාට්ටුවී ) නැති නිසාත් සැමාට දිගටම බොග දාන්න දෙන්න කියාය.

    ReplyDelete
    Replies
    1. උබෙ චරිත සහතිකේ ලැමිනේට් කරල බිත්තියෙ ගහගන්න හිතනවා මචං..
      වරහන් ඇතුලෙ ටික තමා වටින්නෙම..

      Delete
  7. උඹ ලියන්න ආපු ඊක ගැන අප්‍රමාණ සතුටුයි..

    අපි නම් දැන් ආසා නයිට් ක්ලබ් වලට ඉතරයි...

    ReplyDelete
    Replies
    1. අපි නම් කැමති නෑ නයිට් කල්බ් වලට (ඇත්තමයි)

      උබ සතුටට ස්තුති මාතෙ..

      Delete
    2. සිරාවට මහම මහ කාලකන්ණි තැනක් තමයි රෑ ක්ලබ් කියන්නේ...
      ගියපු හැම වතාවෙම එපා වෙලා තමයි එළියට ඇවිත් තියෙන්නේ...

      Delete
  8. එහෙම ගොඩක් සල්ලි ඇරන් යන්න ඇත්තෙ සූදුවට තියෙන අකමැත්ත හින්දම තමා...... නියමයි.........

    ReplyDelete
    Replies
    1. අකැමැත්ත වගේම දකෂතාවය අඩු කම ;)

      Delete
  9. නමක් ගමක් නැත්ත හැමදාම හවසට සෙට් වෙන කැරම් පාරක් නැත්නම් ඕමි අතක් බලන එහෙම නැත්නම් මලක් හරි ගුලියක් හරි කාලා ෆිල්ම් එකක් බලන නිවාඩු දවසට මතට තිත තියන ක්ලබ් එකක් අපිටත් තියෙනවා

    හැමදාම වගේ උබේ ලිවිල්ල අදත් සුපිරි

    ReplyDelete
    Replies
    1. අන්න ක්ලබ්... අපිට ඒ ආතල් නෑ...

      ස්තුතියි වීරේ..

      Delete
  10. #-%-@= @($=&)@ @@@ $*%=#)@) --$$2--@$-%=3

    ReplyDelete
  11. //ඒ ආතල් ආයෙත් නොඑන අපි ඊටත් වඩා පව්ය.// අන්න ඒකය. ඇඬෙන්නට එන නිසා වැඩිදුර යමක් ප්‍රකාශ කළ නොහැකිය. නියම ලිපිය සෑම්. ඕන කෙනෙක්ව අතීතෙට ගෙනියන්න පුළුවන් ලිවිල්ලක්..

    ReplyDelete
  12. තෝ කාලෙකින් ආපු එකම ලොකු දෙයක්...

    අරුන් දෙන්න එළ කිරි යාළුවො දෙන්නෙක්නෙ බං...
    මමත් ඔය බුරුවන්ට ටිකක් මනාපයි, අවුරුදු දවස් වලට අපේ ගමේ ජාතික ක්‍රීඩාවක් වශයෙන් ඔය සෙල්ලම සහ බෝතලෙන් වීදුරුවට පිරවීම කියන අහිංසක සෙල්ලං නොකඩවා පවත්වාගෙන යනවා දැන් කාලයක් තිස්සේ...
    වැඩේ කියන්නේ ඔය ක්‍රීඩා දෙකම කලාට පස්සේ යන්න වෙන්නේ කන් පාත් වෙලා...

    ReplyDelete
  13. අපේ ගම්වලත් ක්ලබ් තියෙන්නේ අප්‍රේල්,මැයි විතරයි.මේ අවුරුද්දේ තියෙන නම නෙමේ ක්ලබ් එකේ ඊගාව අවුරුද්දේ තියෙන්නේ...

    ReplyDelete
  14. // මෙතැන් සිට සෑමාගේ මිත්‍රයා සුජීය.
    //කෙසේ හෝ සුජියා මිත්‍රයා සමඟ ගෙදර එමින් සිටියදී සුපුරුදු පරිදි ක්ලබ් එකේ සෙනඟය.
    //තමා මඟ හලා ගිය සූදුවට අකැමැති මිත්‍රයා තමාටත් පෙර ක්ලබ් එකට ඇවිත්ය.

    සුජීගේ මිත්‍රයා සෑමා නොවන්නේද ?

    (ඇති යන්තං අන්තිමට බූරු කතාව දාලා )

    ReplyDelete
  15. කාලෙකින් මල්ලි ඇවිත් තියෙන්නෙ. ඒකම මදැයි. ලිපිය කියෙව්ව. ඔහොම ක්ලබ් බොහොමයක් ගම්වල තියෙනව.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...