Friday, May 31, 2013

බැලන්ස් කරන හැටි - සෑමාගේ වෙසක් කලාපය


සතුටක් දැනුනු විටදී අප්‍රමාණව එය සැමරීම සහ දුකක් දැනුන විට ඒ සදහා අප්‍රමාණව දුක් වීම බොහෝ මනුෂ්‍ය ස්භාවයය. එහෙත් බුද්ධ දේශනාව නම් මැදහත් සිතින් සියළු දේ විද දරා ගැනීමය. අන්තගාමී නොවී මැද මාවතේ ගමන් කිරීම හෙවත් මැදුම් පිළිවෙත මගින් එය මනාවට අවබෝධ කර දෙන්නේය. අසීමිත සතුටේදී හාට් ඇටෑක් හැදෙන උන් සේම, අසීමිත දුකේදී හාට් ඇට්ටෑක් හැදෙන උන්ද සිටින්නේය. ඒ දරා ගැනීමේ හැකියාවට වුවද සීමාවක් ඇති නිසාය. බුද්ධ දේශනාවේ පරිදි අටලෝ දහමින් කම්පා නොවීම එවන් හදිසි ආබාධ සදහා නියම ධර්මයයි.

ලාබ වලදී සතුටු වීම, අලාභ වලදී දුක්වීම, මධ්‍යස්ථව සිදු කළ යුතුය. නැතිනම් ලාභයකදී ලබන සතුටට වඩා වැඩි දුකක් අලාභයකදී දැනෙනු ඇත්තේය. ඒ දෙකම සම සිතින් මැදිහත්ව විද දරා ගැනීමට හැකි වන්නේ නම් ඔබට සිදුවන හානිය අවම වන්නේය. අටලෝ දහමේ සදහන් ඉතිරි කරුණු සදහාද මේ සූත්‍රයම ඇප්ලයි කර ගත හැකිය. යස - අයස, නින්දා - ප්‍රසංසා, සැප - දුක යන කාරණා සදහාද මෙම විදිහටම කල්පනා කර ගතහොත් ජීවිතය සමබර වන්නේය. අන්ත ගාමි නොවන්නේය. සැබෑවටම ජීවිතය ධර්මයට අනුව විදිය හැක්කේමය.

අපේ උන් හිතන්නේ අමුතු විදිහකටය. තමන්ට වාසියක් වුවහොත් එය ගැන වඩා සතුටු වන්නෝය. මොකක් හෝ කරදරයක් වුව හොත් “අනේ අපිටමනේ වෙන්නේ“ යැයි විස්සෝප වන්නෝය. වාසියක් වු විටදී අනේ අපිටමයි නේ ලැබෙන්නේ කියල හිතන එකෙක් නැත්තේය. එය නම් මනුෂ්‍ය ස්භාවයමය. එහෙත් නිදහසේ සිතූ බැලුවිට කෝටිපතියාගේ සිට, හිගන්නා දක්වාම මේ ධර්මය එකය. හිගන්නාට බත් පාර්සලයක් ලැබුන විට ඔහු අනේ මටමනේ ලැබෙන්නේ යැයි නොසිතන්නේය. කෝටිපතියා තමන්ට අසීමිතව දේ ලැබී තිබියදී අනේ මටම නේ වෙන්නේ කියා දුක් වන්නේය. සරලව කිව හොත් “හැම එකාම තමන්ට නැති දේ ගැන පමණක් දුක් වන්නෝය. ලැබී ඇතිදේ, ලැබෙන දේ ගැන ගානකට නොගන්නෝය.“ එහෙත් ලද දෙයින් සතුටු වන මට්ටමමේ සිතක් හදා ගතහොත් මේ සියල්ල විද දරා ගත හැකි තැනට ඔබ පත් වන්නේය. එවිට ලෝභ, ද්වේශ, මෝහ යන කරුණු වලට අසු නොවී සාමාන්‍ය සරල දිවි පැවැත්මක් ගත කිරීමට හේතු වාසනා වන්නේය.

මේ සියල්ල කීවේ සතර සංග්‍රහ වස්තු අතර පවතින් හතරවන කරුණ වන සමානාත්මතාවය ගැන සටහනක් තබන්නටය. සියළු දේ සම සිතින් දරා ගැනීම, මෙයින් කිය වෙන්නේය. එසේම සැම දෙනාට සමානව සැලකීමටද මේ කරුණ ඉවහල් වන්නේය. සතර සංග්‍රහ වස්තු වලදී පෙර කී කරුණු තුනම සම්පූර්ණ වී මෙකී කරුණද සම්පුර්ණ කළ හැකි නම් මෙලොව අපූරු තැනක් වන්නේය.

සමානත්තතා ති සමාන ‘සුඛ දුක්ඛ භාවො’ දුක සැප සමව බෙදාගෙන ජීවත් වීමට පුරුදු විය යුතුය. තවද අටලෝ දහමේ අකම්පිත ගුණයත් සමානාත්මතා ගුණයට ඉවහල් වන්නේය. වාසෙට්ඨ සූත්‍රයේදී, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුල එකිනෙකට වෙන්ව ඇත්තේ ඔවුන්ගේ වෘත්තිය අනුව බව ප්‍රකට කරුණක් වුවද ඔවුන් සියලු දෙනාම හඳුන්වා ඇත්තේ මනුස්ස යන පොදු නාමයෙන්ය. බලසංගහවත්ථු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මාර්ගඵල ලාභී ගිහි සමාජය තුළ කුමන තරාතිරමක පුද්ගලයෙකු සිටියත් බුදු සසුනට ඇතුළත් වූ කළ ශ්‍රමණ නමින් හඳුන්වන බවත් පැවිද්ද හා උපසම්පදාව ලබන බවත් දේශනා කර ඇත්තේය.

“ දානංච පෙය්‍යවජ්ජං ච – අත්ථචරියාච යා ඉධ
සමානත්තතා ච ධම්මේසු - තත්ථ තත්ථ යථාරහං
එතෙ ඛො සංගහා එතෙ - සමවෙක්ඛන්ති පණ්ඩිතා
තස්මා මහන්තං පප්පොති – පසංසා ච භවන්ති තෙ”

සමස්තයක් ලෙස සිව් සඟරාවත පිළිබඳ සිතීමේ දී රිය ගමනට කඩ ඇණය අවශ්‍ය වන්නාක් මෙන් ලෝකයෙහි පැවැත්මට උපකාරී වන සමගාමී ලෝක ධර්ම සතරක් බවත්, මේ සතර වස්තූන් නිසා ජනතාව පාලකයන් වෙත නැමෙන බවත් මහත් වූ යසසට හා ප්‍රශංසාවට පාත්‍ර වෙන බවත් සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කොට වදාළෝය.

වෙසක් කලාපය තුලදී ඔබ වෙනුවෙන් සතර සංග්‍රහ වස්තු හෙවත්, දානය, ප්‍රිය වචනය, අත්ර්‍ථචර්යාව,  සමානාත්මතාව, පිළිබදව කෙටි සටහනක් ඔබ හමුවේ තැබූවේ ධර්ම දානයක් ලෙසින්ය. සරලව ලියැවුණු එම ලිපි පෙලට සහය දැක්වූ, අදහස් දෙමින් දිරිමත් කළ සැමට පිං.

- බුදුසරණ අන්තර්ජාල කලාපයේද සහය ඇතිව -
වසර 2013ක් වූ වෙසක් මස, 31වන කුජ දා.
-සෑම්-

22 comments:

  1. සෑමෝ මං එක ඔන්න!!!

    ReplyDelete
    Replies
    1. //වාසියක් වු විටදී අනේ අපිටමයි නේ ලැබෙන්නේ කියල හිතන එකෙක් නැත්තේය.//

      ඇත්තටම සෑමෝ මිනිස්සු මෙහෙම හිතන අය නම්,තණ්හාවෙන් සැපයම සොයමින් යන ගමන ටිකක් දුරට හෝ සීමා වේවි!එතකොට ලෝකයේ සම්පත් ඉල්ලුම ටිකක් දුරට හෝ අඩු වේවි! ඒක මේ ලොකේ පැවැත්මට් හේතු වේවි!

      ගොඩක් හරවත් ලිපියක්!!!!! ජය වේවා සෑමෝ !!

      මම දුලාගේ අඩවියේ™ දුලා

      Delete
    2. ස්තුති දුලා !

      Delete
  2. සාදු සාදු ස්සා....දු...

    ReplyDelete
    Replies
    1. සුවපත් වේවා දරුවා!!!

      මම දුලාගේ අඩවියේ™ දුලා
      පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

      Delete
  3. මම ඒත් බැලුව සෑමා මොකද මේ තකහනියක් ගල් බැලන්ස් කරන්නෙ කියල.

    අනේ බං මට දැන් බණ අහල අහල ඇති වෙල තියෙන්නෙ. වෙසක් සතියෙම ගේ අතෑරල යන්න හිතෙන තරමට ගෙදර ඉස්සරහ පන්සලෙන් ස්පීකර් කටවල් හතරකින් හවසට හවසට දුන්නා බණ. උණෙන් වැටිල ඉද්දිත් මට ඉසේ රදේ ඉවසගන්න බැරුව උන්නෙ. අනේ මන්ද හිත නිවී පහන්වෙන ස්වරයෙන් බණ කියන්න ඕන හාමුදුරුවරු බණ කියන්නෙත් දැන් දේශපාලුවො වගේ ගිරිප පුප්පගෙ. අනෙක ඉතිං උදේ ඉඳන් රෑ වෙනකන් බණ කියන එවුන් කොච්චර හම්බ වෙනවද, ඒ වුනාට ඕව පිළිපදින එකෙක් බේතකටවත් හොයා ගන්න බෑ බං මේ ධර්මද්වීපෙ. හිතකරදර කරගන්නෙ නැතුව අපි හම්බකරන් අපි කාල ඔන්නොහෙ ජීවත් වෙනව.

    ReplyDelete
    Replies
    1. //අනේ මන්ද හිත නිවී පහන්වෙන ස්වරයෙන් බණ කියන්න ඕන හාමුදුරුවරු බණ කියන්නෙත් දැන් දේශපාලුවො වගේ ගිරිප පුප්පගෙ.//

      මේක නම් සහතික ඇත්ත බං.

      අපි හම්බකරන්, අපි කාල ජීවත් වෙන අතර පොඩ්ඩක් ධාර්මිකව කාටවත් කරදරයක් නැතුව ඉන්නව නම්, පන්සල් නොගියත් කමක් නැහැ බං. මොකද හැමදාම පන්සලේම ලැගගෙන ඉන්න බහුතරයක් කරන්නෙ තමන්ගෙ නම බබලවන්ව වැඩ කර ගන්න එක.

      ජය !

      Delete
  4. පිරිකර වඩම්මඥඥයි... සාදු සාදු සාදු.

    ReplyDelete
  5. අපිත් ඉතින් අමාරුවෙන් බැලන්ස් කරගෙන යනවා..

    බණනම් ඉතින් අපට දිරවන්නෙ නෑනෙ; තේ වෙලාවට එඤ්ඤං.....

    (ඒක නෙවෙයි මේ බ්ලොග් එක ඉස්සර වගේ ඉක්මනින් ලෝඩ් වෙන්නෙ නෑ. හෙඩර් එකේ බර වැඩිද දන්නෙ නෑ)

    ReplyDelete
    Replies
    1. සුමියා ලෝඩ් වීම දැන් හරි නේද?

      වෙසක් කූඩු ටික නිසා ස්ලෝ වෙන්න ඇත්තෙ..

      Delete
  6. ඩ්‍රැකියා ඉවර කරපු පාර මම හිතුවේ මේකත් ඉවර වෙලා ඇති කියලා. වෙසක් එකටවත් මේ වගේ දෙයක් කරන්න ඕනේ බන්

    ReplyDelete
    Replies
    1. පොසොන් එකටත් බලාපොරොත්තු වන්න.

      ජය !

      Delete
  7. කොච්චර කිවුවත් ඔය බැලන්ස් කිරිල්ල තමයි කොරන්න බැරි.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි කර ගත්තොත් ගොඩ තමා !

      Delete
  8. බැලන්ස් කිරිල්ලත් එක්තරා කලාවක් තමා සැම්

    ReplyDelete
  9. කියවගෙන එත්දී මට හිතුනේ සෑමා නිවන් දොර අභියසදෝ කියලා. බලනකොට බුදුසරණ කියවලා. වෙනදට ඉතින් වෙන සරණක් නේ. :)

    ReplyDelete
  10. කරන්ට් එක නැතිව ගියෝ............

    ReplyDelete
  11. //සතුටක් දැනුනු විටදී අප්‍රමාණව එය සැමරීම සහ දුකක් දැනුන විට ඒ සදහා අප්‍රමාණව දුක් වීම බොහෝ මනුෂ්‍ය ස්භාවයය//

    ඕක නැතිකරගන්න සෑහෙන්න අමාරැයි සෑමෝ. හැබැයි ට්‍රයි කරොත් බැරි වෙනනෙත් නැහැ.

    ReplyDelete
  12. ජය වේවා සෑම්. සමානාත්මතාවයෙ මේ පැත්ත දැක්කෙ මේ පෝස්ට් එකෙන්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...