Saturday, December 10, 2011

DJ ද? JD ද?

‍මේ ස්ටෝරියේ නම් ගම් මනඃ කල්පිත කලයුත්තේ නැත. හේතුව ස්ටෝරිය අගින් එල්ලමි.

ඒ ඩී.ජේ (DJ) ගැන කියවෙන්න පටන් ගත්ත මුල් කාලය විය. අපේ ඉස්කෝලෙත් පාරවල් (steps) දැමීම් බහුල වුනේ මේ කාලයේදීමය. ෂෙක්ෂන් පිටින් වටවී පාරවල් දමනවා බැලුවේ මේ අවධියේය. බොහෝ වෙලාවට කරන්නේ ඉහල ශ්‍රේණිවල අයියලා සමග චැලෙන්ජ් එකට පාරවල් දැමීමයි. අපේ ෂෙක්ෂන් එකේත් පාරවල් කරුවෝ බොහෝ වූහ. ඒ අතර සුප්‍රසිද්ධ වුයේ සුදත්ය.

ඒ කාලේ අපේ පාසලේ නාට්‍යය හා රංග කලාව කලේ කොට, වැඩිය කතා බහ නැති, නමුත් විෂයෙහි දක්ෂ ගුරුවරයෙකි. ඔහුගේ නම කවුරුත් නොදන්නා මුත් බහුතරයක් ගුරුවරු පවා ඔහුට ආමන්ත්‍රනය කලේ ජේ.ඩී (J.D) කියාය. නිසැකවම එය ඔහුගේ මුලකුරු දෙකයි. ඩී.ජේ. ගැන වැඩිපුර කතාවෙන කාලයේ ජේ.ඩී නම තියෙන ගුරුවරයෙකු පහල වීම නිසා අපි කටපුරා ඔහුට කීවේ ඩී.ජේ (Disc Jockey) කියාය.


අපේ ජේ.ඩී සර් මෙය දැන සිටින්නට නැත. අපේ එවුන් දුටු තැන ඩී.ජේ කීවත් කට පුරා සිනාසී අප පසුකර යන්නට ඇත්තේ ඒ නිසාමය. අනික සමහර වෙලාවට ඩී.ජේ දුටු විට අපේ එවුන් එක කනක් අතකින් වසාගෙන ඩී.ජේ කරන ආකාරයට ඉදිරියට පහත් වූවද ඩී.ජේ ට තේරුමක් නැත. සැබවින්ම ඔහු එවිට වෙනදාට වඩා හොදින් හිනා වෙන්නට ඇත්තේ අපි පහත් වී ඔහුට ගෞරව කරනවා යැයි වැරදි ආකල්පයක් සිතේ ජනිත වීමෙනි.

ඩී.ජේ කොට නිසා අපේ එවුන් කොරිඩෝවේ සිටින විට ඩී.ජේ ආවත් පෙන්නේ නැත. සමහර විට අපේ  එවුන්ගේ ඇගේ හැප්පි හැප්පී ගමන් කරන්නේ සූට් කේස් එකක් වැනි බෑගයක් කිහිල්ලේ ගසාගෙනමය. 

අපි 10 වසරේ සිටින කොට උඩ තට්ටුවක එක පේලියට පන්ති අට තිබුණි. නමුත් 11 වසරදී පන්ති 4ක් පහල තට්ටුවේත්, ඉතිරි හතර එම බිල්ඩින් එකේ ම ඉහල තට්ටුවේත් තිබිණි. ඩුම්මගේ සූදුව සිදුවූයේ පඩිපෙල අසල ඉහල තට්‍ටුවේය. මා ගාල්ලේට අසුවුයේත් එම බිල්ඩින් එකේ කෙලවරේ තිබි ටැප් එක ලගදීමය.

මේ අපි 11 වසරේ සිටින විට සිදු වූවකි. ඒ අපේ ඉන්ටර්වල් එකකි. හැම එකාම හැම තැනමය. එදින ජේ.ඩී සුපුරුදු පරිදි අපේ පන්ති පසුකර උඩ තට්ටුවට නැගීමට ඉහලට නැගුනා අප දුටිමු. ජේ.ඩී පඩිපෙල නැගුන වේගයට වඩා වැඩි වේගයෙන් පහලට බැස ආවේ ඔහු ගේ නාට්‍යයක රජතුමෙකුගේ චරිතයක් කළ අයෙකු හිසේ ඔටුනු දමා ඉන්නවා සේ හිසේ කුණු බක්කියක් රදවාගෙනය. කිසිවක් හිතාගත නොහැකි වූ අපට කරන්නට තිබ්බේ බලා සිටීම පමණි.

ජේ.ඩී ට කර ගන්නට දෙයක් නැත. වහාම තම ඔටුන්න ගලවා දමා විසිකර උඩ බැලුවේ ප්‍රහාරය එල්ලවූයේ උඩින් බැවිනි. බක්කියේ තිබි කුණු පඩි පෙල පුරා විසිරී තිබ්බේ වෙඩින් මගුල් ගෙයක උලුවස්සේ බැදි මල් වෙඩිල්ල පත්තු වූ විලසකය.

මෙවර ජේ.ඩී ගේ සහයට පැමිණියේ නලිදුය. ‍නලිදුවා හිටියේ උඩ තට්ටුවේ පන්තියකය. සියල්ල බලා සිටියදී නලිදුවා කෑගැසීය.

"ඒ කවුද යකෝ අපේ සර්ගේ ඔළුවට කුණු බක්කි නමන්නේ..?? එන්න සර් අපි ‍ඕකව අල්ල ගමු" කියමින් නලිදුවා ජේ.ඩී  සමග එකතු වී පන්තියෙන් පන්තියට ගමන් කරමින් ඇසුවේ කුණු බක්කිය නමපු එකා කවුද කියාය.

පන්තිවල තිබෙන කොසු, ඉදල්, ඩස්ටර්, කුණු බක්කි වල පවා ඉස්සර අපි පන්තියේ නම ගැසුවේ හිටපු හැටියේ ඒවා අස්ථාන ගත වන නිසාය. ජේ.ඩී ගේ කරුමයට එම බක්කියේ පමනක් පන්තියක නමක් සදහන් ව නැත. එනිසා නලිදුවාගේ සපෝට් එක ජේ.ඩී ට මහා පිටුවහලක් වෙමින් ජේ.ඩී ද පන්ති ගානේ අවිද්දේය.

නමුත් කිසිවෙකුත් හොයා ගත් නොහැකි වූ තැන ‍ජේ.ඩී වැඩේ අත හැරියේය.

"බලපං බං මම උඩ ඉදන් කුණු බක්කිය පහලට විසික් කලා, කරුමෙටම ජේ.ඩී එතනින් මතු වුණානේ. මට කරන්න දෙයක් නැහැ. ඒත් මම ජේ.ඩී ට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කළා"

- උපුටා ගත්තේ නලිදුගේ කටඋත්තරයකිනි

පලි- නලිදු හදිසි අනතුරකින් සියල්ලන් ගෙන් සමුගත්තේ 2006 හෝ 2007 වසරදීය. ඒ නිසා නම් ගම් මනඃ කල්පිත නොකර පෝස්ටුව දැමීමි. ඔහු දක්ෂ මලල ක්‍රීඩකයෙක් වූ බව සැබෑමය.

"නලිදු සොයුර ඔබට නිවන් සුව"

Written by sAm_1.31pm_09.12.'11

ප.ප.ලි- සිය දහසක් විවිධාකාර වූ ගෝල බාල බාලියන් අතර අපේ ගැටයා (ඒලෙවල් කරන කොට තනියා නමින් විරුදාවලිය ලත් අනිවාරතේ ලියන පේරාදෙනි යුනියේ ගැටයා) ජේ.ඩී ගේ ගෝලයෙකි. තවද නදීෂා හේමමාලිද ජේ.ඩී ගේ ගෝලයෙකි. 10 වසරදී නදීෂා සහ ගැටයා එකම වේදිකාවක ජේ.ඩී ගේ මග පෙන්වීම යටතේ රගපෑවා කීවාම කවුරුන් විශ්වාස කරයිද? ඒත් සත්‍යය එයමය...

අපේ ගැටයාටද නිවන් සැප ලැබේවා....

7 comments:

  1. අඩඩා අපේ ගැටයාගේ යාලුවෙක්ද සෑමා කියලා කියන්නේ.
    අපේ ඉස්කෝලෙත් හිටියා ඔහොම පාරවල් දාන කොල්ලෙක්. දවසක් ඔහොම පාරක් දාන්න ගිහින් කකුල් පලල් කරලා අන්තිමේදි කලිසම ඉරා ගත්තා. :)

    ReplyDelete
  2. නලිදුට නිවන් සුව පතන්නෙමු !!!

    ReplyDelete
  3. අනේද කියන්නේ...මටද මේ සීනය මතකය ...

    ReplyDelete
  4. අයියෝ sAm දුකයි උඹේ යාළුවා ගැන නිවන්සුව පතනවා !!.දැන් කෝ J .D ?

    ReplyDelete
  5. එකනේවෙයි දැන් මං දන්නවා උඹේ ඉස්කෝලේ මොකක්ද කියල ?

    ReplyDelete
  6. ඌ ජේ ඩී ට නියමේට සාධාරනේ ඉෂ්ට කරලානේ..එළ එළ....

    ReplyDelete
  7. මධුරංග- ගැටයා ගැටයා වන්නට පෙර තනියා කාලේදී අපේ මිතුරාය. කලිසම ඉරා ගැනීමත් පාරක් වෙන්ට ඇති.. :)

    ගැටයා- යන්තම් එක සීනයක්වත් ඔබට මතක තිබීම පිළිබද තුටු වෙමි.

    අසරණයා- ජේ.ඩී දුටු කාලයක් මතක නැත. සමහර විටෙක දැන් විශ්‍රාම ගොස් සැබවින්ම ඩී.ජේ කරනවා වන්නට පිලිවන.

    ඔබ නොදුටු ලොවක්- සිරාවටම සාධාරනේ ඉෂ්ඨ කරලා ඇත.. :))

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...