Friday, December 2, 2011

මැරයා ශිලා සහ මකන කෑල්ල..

මැරයා අපේ ගණිත ගුරැවරයාය. ඒ අට වසර දීය. ඉන්පසු ඥානේ, සංජීවනී ටීචර් නම මතක් කලත් ඇති නේද? පිළිවෙලින් ඉගැන්වූහ. සංජීවනී ටීචර් 11 වසර දී ගණිතය කරන්න පටන් ගත්තාම කිසිම කොල්ලෙක් ගණිතය මග හැරියේ නැත. ගණන් හදාගෙන ආවේ නැති වුණත් පන්තියේ රැදී සිටියහ. මට ඒක මෙහෙම කියන්නට තේරෙන්නේ නැත. පුදුමාකාර ලස්සනකි ගුරැ භක්තියකි. ඇයගේ සෑම ඉරියව්වක්ම අපි බලා සිටින්නේ ට්‍රැෆික් පොලිසිය හෙල්මට් නැති එවුන් එනතුරැ ඇස් ක‍ටේ දාගෙන බලා සිටින්නාක් මෙනි.

මැරයා 11 වසර දීත් අපේ පන්තියට ඉගැන්නුවේ නැති වුණාට 11-G (සෑම් ගේ මතකය නිවැරදි නම්) ඉගැන්වීය. අපේ ශිලංක හිටියේ එම පන්තියේය. අපේ ජෙමාගේ අම්මා නැති වුණ නිසා ඒ මල ගෙදර දී ශිලා මේ ස්ටෝරිය මට මතක් කලේය. (ජෙමා මැරයගෙන් ගුටි කාපු කතාව කියවන්න) 

සෑමා මොන්ටිසෝරි ගියේ ගමේ පන්සලකටය. ඒ පන්සල වටේ ඉස්සර හරියට හැකරැල්ලෝ සිටියහ. මොන්ටිසෝරි පන්තියේ හිටපු එකෙක් හැමදාම හැකරැල්ලෝ පොඩි කරනවා මට මතකය. ඉස්සර මම එයා ලගට යන්නේද නැත. ඒ මදිවට පොඩි කරලා  නිකන් ඉන්නේද නැත. නහයේ ඇගිල්ලත් දමා ක‍ටේත් ඇගිලි ගසයි. අපිවත් අල්ලන්නේය. ඒ පොඩි කලේය. ඉස්කෝලේ යද්දී අපේ අතට පැන්සල ලැබින. ඒ කාලේ අපිට ලියන්න පැන්සල අතට දුන් අළුත අපේ එවුන් මුලින්ම කරන්නේ ලියන එක නෙවේය. පැන්සල උඩ තියෙන මකන කෑල්ල කඩාගෙන කෑමය. ලොකු වෙනකොට ඒ පැන්සල් කොටේම, මකන කෑල්ලම යොදා ගත්තේ වෙනත් කුපාඩි වැඩ කිරීමටය.

සුපුරැදු පරිදි මැරයා ශිලාගේ පන්තියට ඉගැන්වීමට පැමිණ ඇත. මැරයා ඇවිදින්නේ කඩියා පශ්චාත් ප්‍රදේශයේ තබාගෙනය. (මැරයා හා හුණු කොට්ටය බැලුවොත් මතක් වෙයි) මැරයාගේ හෙමින් ගමනක් නැත. ඇති වැඩකුත් නැත
මැරයා ඇවිදින්නේ කඩියා පශ්චාත් ප්‍රදේශයේ තබාගෙනය.

මැරයා බෝඩ් එක පැත්ත හැරී ගණන් වගයක් සාදමින් සිටියේය. ශිලා තමාගේ පැන්සල සමග සෙල්ලම් දමමින් වෙනම ලෝකයක සිට ඇත. ගොඩක් වෙලාවට ගුරැවරයෙක් බෝඩ් එකේ වැඩක් කරන විට කිසිවෙකු කරදර කරන්නේ නැත. තමන් ගේ පාඩුවේ වෙන වැඩක් කිරීම සිරිතය. පැන්සලේ මකනය හපමින් සිටි ශිලා පැන්සල හා මකනය සම්බන්ධවන ලෝහ කොටස නියපොත්තෙන් ඉදිරියට තල්ලු කලේය. එවිට මකන කැබැල්ල ඉහලින්ම ගොස් වැටී ඇත්තේ මැරයාගේ හිස මතටයි. අවේලාවට පැන්සලුත් පත්තු වෙනවා කියන්නේ මේකටය.

"කවුද ඒ? කවුද මගේ පාඩම අහං ඉන්න බැරි එකා?? හැංගිලා හුණු කෑලි වලින් ගහනනේ.. නැගිටිනවා බලන්න.." හේ නමින්ම මැරයාය. පන්තියෙන්ම ගේම ඉල්ලීම සාධාරණය.

පන්තියටම ගැහුවත් එකෙක්වත් පාවා නොදෙන සිරිත මුල බැස ගත් යුගයක් නිසා කිසිවෙකු සොයා ගන්නට බැරි බව මැරයා දනී.

"කියනවද නැද්ද? මම කොනක ඉදන් පන්තියටම ගහනවා. මේ අසමජ්ජාති වැඩේ කරපු එකා නැගිටිනවා. නැත්තම් අනිත් එවුනුත් ගුටිකයි අප‍රාදේ.." මැරයා මකනෙන් ගහපු එකා නැගිටින මට්ටමෙන් කීය.

ශිලා නැගිටින්න හදනකොට පොඩි ඕමා කියා ඇත්තේ පන්තියටම ගැහුවත් කමක් නැහැ නැගිටින්න එපා කියාය. අනික මැරයාගේ බොරැ කලබල බව ඕමා දනී. කිසිවෙකුත් සද්ද නැත. අනිත් අතට එය පහර දීමක් හෝ පහර දීමට තැත්කිරීමක් නොව බැරි වීමක් නිසා සිදු වූ දෙයකි.

"හරි තමුසෙලා එකකේ වත් නැගිටින්නේ නැහැනේ.. මම යනවා ප්‍රින්සිපල් ලගට. ගිහින් එක්කගෙන ඇවිත් ඔක්කොටම දෙනවා පාර.." මැරයා උච්ච ස්වරයෙන් කෑගසා පන්තියෙන් පිටත් විය.

මැරයා ගිය පසු ශිලා කියා ඇත්තේ තමා අතින් වැරදීමකින් මකනය විසි වූ බවත් සහ ප්‍රින්සිපල් ආවොත් පන්තියටම ගැසීමට පෙර තමා වරද පිලිගන්නා බවත්ය. කෙසේ හෝ මැරයා ගොස් විනාඩි 10ක් පමණ ගතවිය. පිනා නැත. කස්ටිය මොනවා උනත් පිනාට බය නිසා සද්ද නැත.

ඊලගට එක පාරටම පන්තියට කඩා වැදී ඇත්තේ මැරයාමය. ප්‍රින්සිපල් නැත.

"මම තමුසෙලගෙන් ආයෙත් අහන්නේ.. මම ඇත්තටම ප්‍රින්සිපල් ලගට යනවා.. ගහපු එකෙක් ඉන්නවනම් නැගිටිනවා.."

කලින් පිනා ලගට යනවා කිව් මැරයා දැන් ඇවිත් කියන්නේ ඇත්තටම පිනා ලගට යනවා කියාය. ඒ කියන්නේ කලින් ගියේ බොරැවටද??

ඇත්තටම අපි මැරයා කිව්වත් මැරයාගේ ඇති මනුස්සකම නිසා ප්‍රින්සිපල් ලගට ගොස් නැත. පන්තිය බය කර පොර වටයක් ගසා නැවත පැමින ඇත. කොටින්ම කීවොත් මැරයාටද සොදුරැ පාසල් කාලයක් තියෙන්නට ඇත.

ඊට වසර තුනකට පසු ශිලා විද්‍යා දිනයේ දී මැජික් සංදර්ශනයක් කළේය. මැරයාද එය දැක ඇත. පසු දිනක අප කැන්ටිමට යන විට මැරයා බත් එකක් කමින් සිටියේ තඩි මාළු කෑල්ලක් සමගය. මැරයා ශිලා දෙස බලා කතා කලේය.

"මේ ඔයා මෙතන හිටියට කමක් නැහැ.. මගේ මාළු කෑල්ල එහෙම මැජික් බලෙන් නැති කරන්න එපා" මැරයා කීවේ අතින් මාළු කැබැල්ල වසමිනි.

"ශිලා බොරැවට මතුරමින් සිට එක වරම මාළු කෑල්ල ගෙන කටේ දා ගත්තේය"

"අයියෝ ඔයා මැජික් එකක් කියලා ඒක කටේ දා ගත්තනේ"

"ඇයි සර් නේ කීවේ මැජික් එකක් කරලා ඒක නැති කරන්න කියලා, ඉතින් මම නැති කලා"

වෙලාවකට අපේ එවුන් තරහයි, වෙලාවකට අපේ එවුන් යාලුයි. මැරයාද සොදුරැ මිතුරෙකි.

අද ඔහු කැළනිය ප්‍රදේශයේම පාසලක විදුහල්පතිවරයෙකි. 


6 comments:

  1. අඩේ... මාරු කතාව මොකද්ද බන් මකන කෑල්ලෙන් කරන අනිත් කුපාඩි වැඩේ

    ReplyDelete
  2. අසරණයා- ඔබ දන්නා කුපාඩි වැඩද බොහෝය.. කෙල්ලන්ට පහර දීම, අනුන්ගේ පැන්සල් වල ඇති මකන වලින් නහය හාරා හොර රහසේ තැබීම. එවිට ඔවුන් අමතක වී මකනය කටේ ගසයි. නැතහොත් පෑන් ඉරි මැකිමට මකනය කටේ දමයි... මෙය කිහිපයක් පමණි.

    ReplyDelete
  3. අපද ඔවැනි වැඩ බොහෝ කුපාඩි වැඩ කර ඇත. ලිවීමටද සිතේ. කාඩ් කුඩුවී, ෆේස්බුක් පැත්තේ යාමට නොහැකිවේ යැයි බියෙන් නොලියමි. කුමක් වූවත් මැරයා හොද මැරයාය :-)

    ReplyDelete
  4. ළහිරැ පුතා- සෑමා ලැජ්ජ නැතිව ලියන්නේ.. කලකට ඉහතදී ලැජ්ජ බය නැතිව කරපු ඒවා නිසාය. කොරන්ට හොදනම් ලිව්වට මොකෝ කොලුවෝ..
    (පිස්සුද මචෝ හැම එකම ලියන්න එපා, ඉන්න හම්බෙන්නේ නැහැ..)

    ReplyDelete
  5. මාර මැජික් කතාවක් නේ. ඔඅට් හිතෙන්නේ මේ මැරයා සර් ඉන්නේ ලඟම තියෙන ඉස්කෝලෙද කොහෙද.

    ReplyDelete
  6. මධුරංග- කොල්ලා මැරයා ගැන දන්නවා වගේ.. එල එලමය..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...