Saturday, October 29, 2011

දයා පැනඩෝල් බීම

මතකනේ පීටියා ගැන ලියනකොටම මම දයා පැනඩෝල් බීපු එක ගැන කමිං කෑල්ලක් දම්මා. දයාන් කියන්නේ අපේ ක්‍රිකට් ටීම් එකේ පට්ට චරිතයක්. කොල්ලන්ගේ එල බොක්කක්. දයාන් ටීම් එකේ ඉන්න කොට දීපු ආතල් සීන් මම දැන ගත්තේ අපේ ටීම් එකේ කැපා (කැප්ටන්) චමක ගෙන්. ඊට කලින් දයාන් පන්තියේ ඉන්න කොට හැසිරෙන විදිය මතක් කරන්නම්කෝ.

දයාගේ හිසරදය.

අපි නමය වසරේ ඉන්නකොට අපිට විද්‍යාව, ගණිතය උගන්නන්න අළුතින් තරුණ ටීචර්ලා දෙන්නෙක් ආවා. කස්ටියට මතක ඇති විද්‍යාව කරපු මෙන්ඩිස් ටීචරුයි, ගණිතය කරපු ශේෂා ටීචර්වයි. අපේ එවුන් කීවා දෙන්නගේ නම් දෙකත් සබ්ජෙක්ට්ස් වලට මැචිං ලු. "මෙන්ඩිස්" කියන නම "කොන්ඩිස්" වගේ, "ශේෂා" කියන නම ඉතින් ගණිතයේ ‍"ශේෂය" කියන වචෙනට සමානයි නේ. අපේ එවුන් ගාල්ලෙත් එක්ක පට්ට මල වුණාට මේ දෙන්නට පට්ට ආද‍රෙයි. තරුණ ලස්සන ටීචර්ලා දෙන්නෙක්, අනික දෙන්නටම කේන්ති යන්නේ නැහැ. ඒ නිසා කොල්ලෝ පාඩම නැතිවුණත් ටීචර්ලගේ මූණු දිහා හරි බලං ඉන්නවා ගුරු භක්තිය ඉස්මතු කරගෙන.

දයාන් කොලුව හිටියේ අපේ ඩෙස්ක් පෝලිමට පිටිපස්සේ පෝලිමේ. හරියටම බිත්තිය පැත්තේ කෙලවරේ මට පිටි පස්සේ හිටියේ. කොල්ලට එදා ඉදන් ගණිතය ඇලජික්. අනිත් ඒවත් ‍එහෙම තමා. ඒත් කොල්ලා වැඩිපුර ඇලජික් ගණිතයට. ඉතින් පොර හැමදාම ශේෂා ටීචර් ආපු හැටියෙම දාන්නේ එකම ට්‍රික් එක.

"ටීචර් මට ඔළුව කැක්කුමයි"

"ඇයි ඒ?"

"අනේ මන්දා ටීචර් උදේ ඉදන් තියෙන්නේ.."

"ඇයි මුකුත් බිව්වේ නැද්ද?"

"පැනඩෝල් බිව්වා ටීචර්"

"එහෙනම් ඔළුව ඩෙස්ක් එකේ තියාගෙන ඉන්න"


"දයාන් ඔයා පැනඩෝල් බීලද නිදා ගත්තේ???"


මුල්ම දවසේ ටීචර් සමාව දීලා ඔළුව තියාගන්න කීවට කොල්ලා හැමදාම එකම සීන් එක කරන නිසා ටීචර්ට වැඩේ මීටර් විය. එදායින් පසු ටීචර් එනකොටම කොල්ලා නිදිය. ඉවසන්න බැරි තැන දවසක් ටීචර්....

"ඇයි දයාන් නිදි??"

"ඔළුව රිදෙනවා ටීචර්..."

"පැනඩෝල් බිව්වද?" දැන් ටීචර් දයා ව බයිට් එකට අරගෙන ඇත. පොර නිදාගෙන ඉන්න හැමදාකම නැගිට්ටවලා අහන්නේ "දයාන් ඔයා පැනඩෝල් බීලද නිදා ගත්තේ???" කියාය. එදා ඉදන් දයා "පැනඩෝල් විය"

 දයාන්ගේ ට්‍රීට්මන්ට් (Treat) එක

අපේ එවුන් එදා ඉදන්ම කෑමට කිසිම වෙනසක් කරන්නේ නැත. කෑම දාසලා බොහොමයක් බිහිවුණේ අපේ කැලෑසියෙනි. බර්ත් ඩේ කේක් කපන සීන්, කෑමට ජාපාල ඇට දාන සීන් (ජම්බුවා තමා මේ සීන් එකට ප්‍රකට), ඔක්කෝම ඉස්සරහට කියවන්න පුළුවන් වෙයි. ඒ සියළු සීන් ආහාර සම්බන්ධ ඒවාය.

අපි තුන් වෙනි පීරියඩ් එකේම ඉන්ටර්වල් එක ගන්න නිසා කස්ටියම පොර කකා කෑම කන එක නවත්තන්න කාටවත් බැරිය. කෑම ගේන එවුන්ට හැමදාම පාඩුය. කැන්ටිමෙන් කන එවුන් ශේප් එකේ ඉන්ටර්වල් එකේ තනියම කයි. ටීම් එකේ එවුන් ප්රැක්ටිස් දවසට පන්තියට බෑග් එක ගේන්නේ නැති නිසා කෑම එක පන්තියට එන්නේ නැත. ටීම් එකේ එවුන් වටවෙලා කෑම ගන්න කොට සිදුවෙන අක්‍රමිකතා මම දැන ගත්තේ චමකගෙනි. චමකයා දීපු ස්ටෝරියක් තමා දැන් පෝස්ට් වෙන්න යන්නේ....

"බලපං බං දයා හැමදැම කරන්නේ අපේ කෑමවලට පනින එක, මූට කොච්චර කීවත් ගේන්නේ නැහැනේ" චමකයා කීවේ දයා ඉන්න තැනමය. ඉස්සර ඉතින් කියන්න තියෙන දේ අපි දෙබරෙට ගැහුවා වගේ කෙලින්ම කියන නිසා අවුලක් නැත. ඒ නිසා අපේ එවුන් තරහා වෙන්නේත් නැත.

"අනේ පල මන්දයෝ (මන්දයා යනු දයාන් හැමෝටම භාවිත කරන පොදු නමක්ය) බලපං මම හෙට ගේනවා පට්ට බත් එකක්, චිකන් කෑලි පුරවපු එකක්" දයා කීවාද පොරට කියවුණාද දන්නේ නැත. ඒත් දැන් ඉතින් ‍වැඩේ සෙට්ය.

"අම්ම ගහයි බැට් එකෙන් මෙන්න මූ ට්‍රීට් එකක් දෙන්න යනවා" දයාන්ට වැඩේ සෙට් වෙන පාටක් පෙන්නුම් කරයි.

"හරි හරි බලපංකෝ හෙට ගේනවා" පොතේ හැටියට හෙට ප්රැක්ටිස් නිසා කෑම එක අපිට සෙට් වෙන්නේ නැත. සෙට් වෙන්නේ ටීම් එකේ එවුන්ටය. කමක් නැත දයා කීවට ගේනකල් ෂුවර් නැත.

"හරි හරි උඹ ගෙනෙන් කෝ.." චමකයා කීය.

පහුවදා... අපිට දයා කෑම ගෙනාවද කියලා බලාගන්න ඕන නිසාම ක්‍රිකට් රෑම් එක පැත්තට ඔළුව දැමීමු. කස්ටිට ඉන්ටර්වල් එකත් ඉවරවෙලා පිට්ටනියේ ‍ප්රැක්ටිස් පාරක ඉන්නකොට චමකයාට කිට්ටු වී අපි දයාගේ ට්‍රීට් එක ගැන ඇසුවෙමු.

"ඔව් බං පොර කෑම එකක් ගෙනාවා, හැබැයි චිකන් තියා කුකුලෙක්ගේ තටුවක් වත් නැහැ." චමකයා කීය. දයාන් පිට්ටනියේ එහා පැ‍ත්තේ සිට සීන් එක බලා සිටී.

"චමකයා මොකද කස්ටිය අහන්නේ??" දයා ඇසුවේ ෆීල්ඩ් කරන ගමන්ය.

"ආ.. ඇහුවෙද? ඇහුවේ උබගේ මස් නැති බත් එක ගැන..."

"පලයං යන්න.. මේ තියෙන්නේ පට්ට චිකන්..." කියමින් දයා කලිසම් සාක්කුවෙන් කුකුල් අඩු ටිකක් ගෙන කන්නට පටන් ගත්තේය.


මේ තියෙන්නේ පට්ට චිකන්..



අපිට සීන් එක තේරුණේ දැන්ය. පොර කලින්ම කුකුල් අඩු ටික සාක්කුවේ දාගෙන ඇත්තේ ප්රැක්ටිස් කරන කොට කන්නටය. අපේ එවුන්ගේ ඇස් උඩ ගියේ පොර සාක්කුවේ දාගෙන සිටි නිසාය...

Written by sAm_10.51am_27.10.'11


1 comment:

Related Posts Plugin for WordPress, Blogger...